Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்

ඉදිරියට යාමට ඔබ කැමති භාෂාව තෝරන්න

පුවත්

ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ

2026 ඔක්තෝබර් 6 • පුවත්

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වූ ශ්‍රම වාසනා අරමුදල 2026 සැප්තැම්බර් 30 දින සිට ඈවර කර වසා දැමීමට පියවර ගෙන ඇති අතර, එම අරමුදල මගින් මෙතෙක් ඉටු කළ, තවදුරටත් පවත්වාගෙන යා යුතු සේවක සුබසාධන කාර්යයන් කම්කරු අමාත්‍යාංශය යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල් පනත යටතේ පිහිටුවන ලද මෙම අරමුදල, 2019 අංක 15 දරන පනත මගින් සංශෝධනය කර තිබේ. සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය සඳහා මූල්‍යමය සහාය සැපයීම සහ ඒ හා සම්බන්ධ කාර්යයන් ඉටු කිරීම අරමුදල පිහිටුවීමේ ප්‍රධාන අරමුණු අතර විය.

 

“රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීම” මැයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අංක අමප/24/2198/801/008 හා 2024.12.18 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව, රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනයක් සිදුකර යෝග්‍ය පරිදි එම ආයතන සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරී කමිටුවක් පත්කරන ලදි. එම කමිටුව විසින් ශ්‍රම වාසනා අරමුදලින් දැනට ප්‍රතිලාභ ලබන පාර්ශවයන්ට අගතියක් නොවන පරිදි ගණන් බේරා වසා දැමීමට නිර්දේශ කරනු ලැබීය.

 

ඒ අනුව, ශ්‍රම වාසනා අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලැබූ සේවාවන් අතරින් වෙනත් ආයතනයක් මගින් ක්‍රියාත්මක නොකරන සේවාවන් කම්කරු අමාත්‍යාංශය යටතේ ඉදිරියේදීත් පවත්වාගෙන යාමට නියමිතය. එම කාර්යයන් අතරින්,

 

i. සේවා ස්ථානවල සිදුවන වෘත්තීය අනතුරුවලින් මියගිය හෝ 60% හෝ ඊට වැඩි පූර්ණ ආබාධිත තත්ත්වයට පත් කම්කරු ජනතාවගේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා වන ශිෂ්‍යත්ව වැඩසටහන

ii. සේවා නියුක්ති අවසන් කිරීම සම්බන්ධයෙන් කම්කරු විනිශ්චය සභාවල පවතින නඩු, බේරුම්කරුවන් වෙත හෝ කම්කරු අධිකරණවල පවතින නඩු හෝ ආරවුල්, කම්කරු වන්දි කොමසාරිස් ඉදිරියේ විභාග වන නඩු හා ඉහත නඩුවල අභියාචනා නඩු සඳහා මූල්‍ය ආධාර සැපයීම

iii. පූර්ව දැනුම්දීමකින් තොරව වසා දැමීමට තීරණ කරන ලද අතර ආයතනයක සේවා නියුක්තිකයන් සඳහා කෙටිකාලීන මූල්‍ය සහන ලබා දීම

iv. වෘත්තීය අනතුරු සඳහා ප්‍රතිලාභ ලබා දීම ආදී කටයුතු තවදුරටත් සිදුකළ යුතු කාර්යයන් ලෙස හඳුනාගෙන තිබේ.

 

අරමුදල වසා දැමීමත් සමඟ එහි සේවය කරන ලද නිලධාරීන් ඔවුන්ගේ කැමැත්ත අනුව,කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ පවතින සමාන්තර තනතුරු වෙත අනුයුක්ත කිරීමට කටයුතු කරන ලද අතර එලෙස තනතුරු ලබාගැනීමට එකඟ නොවූ නිලධාරීහූ වන්දි මුදල් ලබාගෙන සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත්වූහ. 

 

ශ්‍රම වාසනා අරමුදල ගණන් බේරා වසා දමා විසුරුවා හැරීම නිසා මෙතෙක් එම අරමුදලෙන් මහජනතාවට ලැබුණු සේවාවන් තවදුරටත් අඛණ්ඩව කම්කරු අමාත්‍යාංශය මගින් සපුරා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතන වල සේවාවන්ට මෙම අරමුදල මගින් සපයන ලද සේවාවන් කම්කරු අමාත්‍යාංශය මගින් සපුරා ගැනීමට හැකි නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වේ. තවද, මෙම අරමුදල මගින් පවත්වාගෙන ගිය කාර්යයන් පහසුවෙන්ම අමාත්‍යාංශය මගින් කරගෙන යාමට හැකි වීම නිසා ඒ වෙනුවෙන්ම වෙනත් ආයතනික රාමුවක් පවත්වාගෙන යාම වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය අනෙකුත් අරමුණු වෙනුවෙන් වෙන්කළ හැකි බැවින් පිරිවැය වඩාත් ඵලදායීත්වයෙන් යුතුව වැය කිරීමට හැකි වී ඇත.

 

තවද,ශ්‍රම වාසනා අරමුදල මගින් මෙතෙක් ඉටුකෙරුණු සේවාවන් ලබාගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කම්කරු අමාත්‍යාංශයේ 011 236 8304 දුරකතන අංකයෙන් විමසිය හැකිය.

 


මෑතකාලීන පළකිරීම්

ප්‍රවේශ්‍යතාව දසුන සකසන්න
අකුරු ප්‍රමාණය
වර්ණ ප්‍රකාරය
හඬ කියවීම (Text-to-Speech)